තුරුලේ නිදනා දුවණි දැකලා






තුරුලේ නිදනා දුවණි දැකලා

නෙතට කදුලක් නැහැ ගලා

මටත් පුදුමයි තමයි මම ගැන

ඉන්න හැටි මම හිත හදා........

දුන්නේ නිදහස නුඹට පෙර දින

කුඩුවේ දොර හැර තබා

තනිව කොහොමද යන්නේ නුඹ මේ

සියළු බන්ධන බිම තබා............

සසරේ දුක් බව දනිමි හොදටම

එතෙර වන්නට මග දුරයි

එන්නේ කොහොමද නුඹත් එක්කලා

දෝණි තනිවෙයි දුක් වෙලා.........

අතින් අල්ලන් දුරක් යන්නට

පෙරුම් පුරනෙමි මම සදා

හිතින් වත් නුඹ නැහැනේ අල්ලන්

කෙලෙස් දුරු කොට තනිවෙලා........

මවක් වාගෙම  සියළු වැඩටික

කරමි මේ අපේ දුව නිසා

තලන්නට බැහැ ඇගේ පොඩි හිත

බැදිමක ඵල ඈ නිසා..........


(පසු සටහන,විවාහ ජිවිතයක් තුල එක්ව ගමනක් යාමට දෙදෙනාම බැදි ඇත. කොයි තරම් උතුම් වුවද, යහපත් වුවද කිසිදු මාර්ගයක තනිව යෑම අනුමත කල නොහැක.

බැදිම් දුකක් බව නොදන්නා හිතක් නැත. බැදුණු බැදිම් අත්හැර යාම පහසු නැත. අරමුණ කුමක් වුවද, කොයි තරම් උතුම් වුවද එහි ආත්මාර්ථකාමි බවක් ඇත. 

සි‍යළු බන්ධන පසෙකලා කෙලෙස් දුරු කළ කෙනෙකු වන්නට හිතක පොඩිම හෝ අසාවක් ඇතිනම්, කිසිම බැදිමකට නොබැදි සිටින්න.

අපගේ බැදිම්  වලින් හටගත් ඵල වල වගකිම් වලට අපි වගවිය යුතුමය. 

ඕනෑම දෙයක් ඕනෑවට වඩා හිතට ගත් විට එය උමතුවක් වනු ඇත.)


උදාරි ජයතිලක





Post a Comment

0 Comments