හිත සතුටින් නම්, ඔයත් පොහොසත්......
එක්තරා පිරිමි ළමයෙක් සිටියා, එයාගේ පවුල මුදල් අතින් ගොඩාක් පොහොසත්. දිනක් ඔහුගේ පියා ඔහුව රට සංචාරයක් සඳහා කැඳවාගෙන යන්න තීරණය කල අතර එහිදී, ඔහු තම පුතාට දුප්පත් මිනිසුන් ජීවත් වන ආකාරය පෙන්වීමට ඉලක්ක කළේය. එබැවින් ඔහු සිතූ පරිදි ඔවුන් ඉතා දුප්පත් පවුලක ගොවිපළකට ගියා. ඔවුන් එහි දින කිහිපයක් ගත කළා. ඔවුන් ආපසු එන විට පියා, තම පුතාගෙන් ඇසුවේ ඔහු මේ ගමනට කෙතරම් කැමතිද යන්නයි.
" ඒක නියමයි තාත්තේ" පිරිමි ළමයා පිළිතුරු දුන්නා. "දුප්පත් මිනිසුන් ජීවත් වන ආකාරය ඔයා දැක්කාද?" "ඔව්, " - පිරිමි ළමයා පැවසීය. පියා තම පුතාට ඔවුන්ගේ සංචාරය ගැන ඔහුගේ හැඟීම් ගැන වැඩි විස්තර පවසන ලෙස ඉල්ලා සිටියේය.
“ අපට සිටින්නේ එක බල්ලෙක් පමණි, ඔවුන්ට බල්ලන් හතර දෙනෙක් ඉන්නවා. අපේ වත්තේ පොකුණක් තියෙනවා, ඔවුන්ට කෙළවරක් නැති ගඟක් තියෙනවා. අපට මිල අධික විදුලි අලෝකය තියෙනවා , නමුත් රාත්රියේදී ඔවුන්ගේ හිසට ඉහළින් තරු රාශියක් තියෙනවා . ඔවුන්ට නිමක් නැති කෙත්වතු තිබියදී අපට තියෙන්නේ කුඩා ඉඩමක් පමණි. අපි කෑම මිලට ගන්නවා, නමුත් ඔවුන් එවා වගා කරනවා. අපගේ දේපළ ආරක්ෂා කිරීම සඳහා අපට ඉහළ තාප්පයක් තියෙනවා, ඔවුන්ගේ අවට මිතුරන් ඔවුන්ව ආරක්ෂා කරන බැවින් ඔවුන්ට තාප්ප අවශ්‍ය නැහැ.
තම පුතාගේ කතාවට පියා තුෂ්නිම්භූත විය. ඔහුට වචනයක්වත් කිව නොහැකි විය.
එවිට පිරිමි ළමයා මෙසේ පැවසීය: "ස්තූතියි තාත්තේ, අපි කොච්චර දුප්පත්ද කියලා මට බලන්න ඉඩ දුන්නට."
සැබෑ ධනය මෙන්ම සතුට මනින්නේ ද්‍රව්‍යමය දේවලින් නොවන බව මේ කතාවෙන් අපිට කියා දෙනවා. ආදරය,සතුට සහ නිදහස වඩා වටිනවා.
මිල මුදල් දේපල වගේ දේවල් වලින්ද ඔයත් පොහොසත් බව මනින්න ඉගෙන ගෙන තියෙන්නේ.අපේ පොහොසත් බව සල්ලි වලින් මනින්න බැරි බව ඔයා දැනටමත් තේරුම් අරගෙන නම් ඔයා ජීවිතේ හරියටම තේරුම් අරගෙන කියලා මට හිතෙනවා.
මුදල් පස්සේම දුවලා, දවසක මිල මුදලින් පොහොසත් කෙනෙකු වෙන්නට ඔබටත් පුළුවන් වෙයි. ඒත් ඒදාට මිල මුදල් විතරක් ඔයාගේ ළග රැදිලා, අනෙක් හැම දේම ඔයාගෙන් දුරස් වෙලා නම් ඔයා ඇත්තටම ගොඩාක් දේවල් අහිමි කරගත්තු දුප්පතෙක් බව නම් කියන්න පුළුවන්
ඔයාට හිතෙයි සල්ලි තියෙනවා නම් අපිට මොනවද ගන්න බැරි, ඔව් ඇත්ත වෙන්න පුළුවන් ඒත් ඔයා දැකලා තියෙනවද? හිතේ සැනසිම මිලට ගන්න පුළුවන් තැන්?
සතුට කියන්නේම අපි ළග තියෙන දේවල් වලට. තමන් සතු දේවල් වලින් සතුටෙන් ඉන්න බලන්න. අහිමි දේවල් ලබාගන්න කැපවෙන්න..ඒත් හුලන්න එපා
ඔයාගේ පවුල,හිත මිත්‍රාදීන්,නිරෝගී බව, හිතේ සැනසීම ආරක්ෂා කරගන්න උත්සහා ගන්න. මොකද මේ දේවල් ලග නැති අය ගොඩාක් දුප්පත්.
තාප්ප වලින් වට වෙච්ච ගොඩාක් මිනිස්සු නිවාඩුවක් ලැබුනු ගමන් දුවන්න හදන්නේම නිදහස් ගැමි ගතිය පිරිච්ච තැන් හොයාගෙන
තරු පහේ හෝටල් වලින් කෑම කන මිනිස්සු ඉඩක් ලැබුන ගමන්ම හොයන්නේ, කෙහෙල් කොලේක ඔතපු සරල කෑම වේලක රස,
නාන කාමරයක් ඇතුලේ සැප පහසුවට නාන මිනිස්සු ඉඩක් ලැබුණු ගමන් හොයන්නේම ඇලක දොලක පීනලා නාන්න.
මේ හැම දේටම යටින් තියෙන්නේ අපේ මිනිස්සු තුල තාමත් හැන්ගිලා තියෙන සරල ජිවිතේට තියෙන කෑදරකම, ආසාව නේද?
එක්කෙනුට එක්කෙනෙක් සල්ලි වත් පොහොසත් කම් වලින් පරාද වෙන්න තියෙන බය නිසාමද මන්දා, අපි අපේ ජිවිත පුදුම විදිහකට සන්කිර්ණ කරගෙන ඉවරයි.
හිත්වල කෝ සතුට සැනසීම?
සල්ලි දේපල ලැබෙනකන් ඉන්න එපා ජිවිතේ විදින්න.කෙලවරක් නැහැ ඒකට.
හැමදේම ළගා කරගෙන ජිවිතේ විදින්න බලාගෙන ඉන්න එපා. අපිට සතුටින් පොහොසත් වෙන්න නම් තියෙන දේවල් ඉහටත් උඩින්, නිවාඩු පාඩුවේ හිතලා බලලා හොයාගන්න බලන්න. එතකොට ඔයා අනිත් හැමෝටම වැඩියෙන් පොහොසත්.
ඔයාට කාටවත්ම සමාන වෙන්න බැරි වේවි එතකොට.
උදාරි ජයතිලක
0 Comments