නිල් අහස පුරා උණුසුම සදලා



 දරුවෙකුට තාත්තා කෙනෙක් කියන්නේ මුළු ලෝකයක්.. ඒ හිඩැස පුරවන්න ලේසියෙන් බැහැ.පුංච්ම කාලේ ඉදන් ආදරේ සෙනෙහස දීලා, ළමයි ලොකු වෙනකන් බලන් ඉන්නේ දහසක් බලාපොරොත්තු තියාගෙන..තමන්ට අහිමි වෙච්ච ජිවිතේ කැපවීම් කරලා දරුවන්ට දෙන්න අසීමාන්තිකව දුක් උහුලන කෙනෙක්...

නොසිතු මොහොතක ඒ මහා සෙනෙහස් පවුර ගිලිහිලා ගියාම දැනෙන වේදනාව දන්නේ එය අත්විදපු අයම විතරයි....ආදරේ විතරක්ම දුන්නු තාත්තෙක් ගේ දුවෙක් උනු මට අවුරුදු ගාණක් ගත වුනත් දැනෙන දුක වචන කරන්න හරිම අමාරුයි.

 ''නිල් අහස පුරා උණුසුම සදලා  

සැමදා මගේ තාත්තා 

සෙනෙහස වපුරා මහමෙර උතුරා 

සැමදා මගේ තාත්තා'' 


තාත්තා කියන්නේ සැබෑම යථාර්තවාදි මිනිසෙක්...බොරුව පිරිච්ච ලෝකයක හරි පුදුම චරිතයක්. ජිවිතයේ සිහින හබාගෙන යද්දි නැතුවම බැරි සෙවණැල්ල .. ඒත් ඒ සිහින සැබෑවක් වෙදිදි ඒ දිහා බලලා සතුටු වෙන්න තාත්තා කෙනෙක් ලග නැතිවෙන්නේ....සංසාරේ වෙච්චි මොකක් හරි අතපසුවීමක් වෙන්න ඇති.

''සිහිනයේ සැබෑව මට පහදා 

සෙවනැල්ලෙත් නුඹ මා ළඟ උන්නා 

නිදි නැති කප්තුර බොහොසේ ගෙව්නා 

ඔබ හින්දා මං ලෝකය දිනුවා'' 


පියවි ඇසට දෙවිවරුන් ඇස නොගැටුනත්.ජිවිතේ හම්බු වුන ජිවමාන දෙවිවරුන් අතරින් නුඹට හිමිවෙන්නේ සුවිශේෂී තැනක්. 

හිතට දැනේන වෙහෙස ලතැවුල් සගවගෙන හිනාවෙන්න මම ඉගෙන ගත්තේ තාත්තේ ඔයාගෙන්..දරුවෙක් වෙනුවෙන් ඒ තරම්ම සංවේදී වෙන්න පුළුවන් කියලා හරිම ලස්සනට කියලා දුන්නා..

''සිනහව කැන්දා  කඳුළැල් සඟවා 

නුඹ උන්නා මගේ තාත්තා 

දෙවිවරු පරදා නුඹ මට සැනසුම 

සැදුවා මගේ තාත්තා ''


ජිවිතේ එක් කඩ ඉමක් වෙනුවෙන්  නුඹගෙන් මා වෙන්වුණු දවසේ...නූබ කාටවත්ම නොකියා..දෙනෙත් පියාගනියි කියලා දැනුනනම් කිසිම දවසක ඒ ගමන යන්නේ නැහැ...

නොයෙන ගමනක් යන්න නුඹ වැතිරිලා ඉද්දි. ඒ මුහුණේ තිබුනේ සතුටක්ද දුකක්ද? අදටත් මම හිතනවා ඒ ගැන..නූඹ අදටත් හිටියනම් සතුටු වෙයි අනිවාර්යයෙන් ... ඒත් මම දන්නවා නොපෙනෙන ලෝකේක හරි ඉදගෙන නුඹ මගේ දිහා බලාගෙන නොහිටියානම්...මගේ ජිවිතේ හිනාවෙන්න මට බැරි වෙන බව...

 ''නෙතු වෙහෙසා බලමින් උන්නා 

මා දිනු ලෝකය දෝතට රන්දා 

දෙපා මුලින් තවත් නුඹ හිතවා

ආයෙත් නොයෙන්න නුඹේ නෙතු වැසුනා 

කොහෙදෝ නුඹ ඈතක ඇදුනා

ඇදුනා මගේ තාත්තා 

සැනසී හිඳින්න මා දැන් දිනුවා

දිනුවා මගේ තාත්තා ''


නිවන් මග ලැබීමට නුඹ කළ පින් මදකට හෝ මදි වුනා නම් මේ සසර ගමනේ මතු ජන්මයක ආයෙත් නුඹ මගේම පියාණන්ම  වේවා..!!!


රොමේෂ් සුගතපාල මහතා විසින් ගායනා කරන

නිල් අහස පුරා නම් ගීයට ලියැවුණු සටහනකි


පංචාන්දි (උදා-ජය)

Post a Comment

0 Comments