ඉකිගසා හඩන අතීතයක



හාත්පස වෙලාගෙන එන මද සුළග...මනසට විවේකයක් ගෙන ආවද...තනිකම නිසා මා තුළ ඇති අදුර සුපුරුදු විලස මා අතීතයට..ගෙන යන්නේ සුපුරුදු පරිද්දෙනි .
තනිකම යනු මට අරුමයක් නොවේ..වර්ථමානය යනු හුදෙක් ගත කරමින් පසු වෙන දෙයක්ම පමණි..අනාගතයක් ගැන දැනීමක් නොමැත...ජීවත් වීමට හුස්ම සපයන්නේ අතීතයෙන් පමණි.. මා මෙතෙක් ලද කිසිවෙක් හෝ කිසිවක් නැත...විසල් වු නිවසක හතළිස් පස් හැවිරිදි මට මා පමණි... 
විවාහයක් ගැන නොසිතුවේ අන් කවරෙකුටවත් ඔබ වීමට නොහැකි නිසාය... ඔබට අනුව ප්‍රේමය යනු හිතට දැනේන දෙයකි..මා කෙරෙහි ඔබට එවන් හැගීමක් තිබුණා දැයි කියන්නට වත් මා නොදනීම්..මන්දයත් නුඹ කිසිදිනක මා සමග ප්‍රේමයක් ගැන කතා නොකර තිබීමයි..
ඔබ වෙනුවෙන් මා තුළ ඉපදුන ආදරය මේ යැයි කියා සම කිරිමට මීට අවුරුදු විස්සක අතීතයේදී මෙන්ම වර්ථමානයේදී ද. මා දන්නේ නැත..
දවසින් දවස මා වෙතින් නුඹ නොකියාම ඉවත් වෙන හැටි බලා ඉකි ගසා හැඩු අතීතය සුන්දර වූවක් ද නොවේ....

"ඉකිගසා හඩන අතීතයක
කදුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා"
මා තුල නුඹ නමින් ඉපදුන ප්‍රේමය, කිසිදා නුඹ ඉදිරියේ පෙන්වීමට මා හට අවශ්‍ය නොවිණි...කෙදිනක හෝ නුඹට එය දැනුනාදැයි නොදනිමි..එහෙත් මා ගැන කුමන හෝ බැදීමක් ඇති බව පමණක් නුඹ අවස්ථා ගනනාවක මා හට එත්තු ගැන්වීය. එය මිතුරුකමක් හෝ සහෝදර ප්‍රේමයක් වුවද විය හැක...මා හට එය තේරුම් ගැනිමට නොහැකි වීමට කිසිදා ඔබට දොස් නොපරවමී.පුදුම නොවෙමි තවමත් මා හට වුවද එය තේරුම් ගත නොහැක.. මා තනි වුයේ අනෙක් අය ඔබට හිතින් සම කිරිමට යැමේනි.
අදටත් නුඹ නැති හිනයක් මා නොදැකපු තරම්‍ ය. නින්දෙන් ඇහැරිමට තරම් ලෝබ හිතෙන තරම්ම ඒවාට මම හැබෑ ලෝකයට වඩා පෙම් කරමි..මට මගේ නොවන මගේම ආදරේ පෙරදා මෙන්ම අදද මා මංමුලා කරවයි..

හීනෙන් හිනැහි තුන්‍ යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරි කළුවරේම යළි සොයනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා.

කිසිදා සුව නොවන රිදුමක් ඇති සිතට වගකිව 
යුත්තේද නුඹ නොවේ මා පමණි...නමුත් ඒ රිදුමද මා ජීවත් වන බව මා හට මතක් කරදෙයි..ඉදහිට හෝ වැටෙන උණු කදුළු මාගේ හදවතේ ගැහෙන හඩ තාමත් ඔබ වෙනුවෙන්ම බව අගවයි.

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරි තැන උණු කදුළුම වගුරවනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා..

දිවියේ ඉතුරු වී ඇති කාලය මැදි වයසේ සිටින මට ගෙවා ගැනිමට ,මා සිතේ නුඹ නමින් උපන් ප්‍රේමයේ සිතුවිල්ල පමණක් මට ඇතිය..ගතින් මහළු වුවද ඒ මගේ නොවුණු මගේම ආදරය ගතින් නොව අධ්‍යාත්මිකව විද ඇති ආදරය අදටත් මා සිතින් තුරුණු බව ඒත්තු ගන්වයි.

මා පරාජිත නොවන බව මම දනිමි. මගේ ආදරය ගැන මම කිසිවිටක පසුතැවිලි නොවෙමි
මන්දයත් ප්‍රකාශිත ප්‍රේමයට වඩා මාගේ නොකියු ප්‍රේමය බලවත් නිසාය...
මාගේ කතාව ඔබට පැවසුයේ අනුකම්පාව ලබා ගැනිමට නොව..හුදෙක් මා මිය ගිය පසුව, මාගේ ප්‍රේමයද  මා සමගම මියයාම සිදු නොවීම සදහාය..
( පසුබිම් සටහන ලියවුනේ අමිල තේනුවර මහතා විසින් රචිත අමරසිරි පීරිස් මහතාගේ හඩින් ගැයුණු..ඉකිගසා හඩන අතීතයක ගීතයෙනි)
✍️උදාරි ජයතිලක ✍️

Post a Comment

0 Comments